ගැබ්බර මුවදෙන සහ අනතුර

එක්තරා වනාන්තරයක පැටවෙකු බිහිකරන්න සූදානමින් සිටි ගැබ්බර මුව දෙනක් සිටියා. පැටවා බිහි කිරීම සඳහා ආරක්ෂිත තැනක් සොයමින් ගමන්කළ මුව දෙනට වේගයෙන් ගලායන ගංගාවක් අසල තිබූ පහසුවෙන් ළඟාවිය නොහැකි තණකොළ වැවුණු බිම්කඩක් හමුවුනා.
පැටවා බිහිකිරීම සඳහා මෙය සුදුසුම ස්ථානයක් යැයි සිතූ මුව දෙන එහි ගිය විට පැටවා ලැබීමේ වේදනාව දැනෙන්නට වුනා.
අවාසනාවක මහත..!!!
අහස වැහි බර වී මහ වැස්සක නිමිති පෙනුන ඒ මොහොතේ එකවරම අසල ගසකට වැදුන අකුණු සැරයකින් ගින්නක් ඇතිවී අවට ගස්වැල් ගිනිගන්නට පටන්ගත්තා. ගඟ අසලම සිටින මුව දෙනට විලිරුදාව නිසා දිවයන්නත් බැහැ. ගින්නට හසුවී මියයාවි යැයි ඇයට සිතුනා.
ඒ ගැන සිතමින් ගං ඉවුරේ වම් පස බැලූ මුව දෙනට දැකගත හැකි වුනේ ඇය වෙතට දුන්නක් මානාගෙන සිටිනා දඩයක්කාරයෙක්ව. ඉන් තැතිගත් ඇය, ගං ඉවුරේ දකුණුපස බලද්දී මුව දෙන දුටුවේ ඇයව ගොදුරුකර ගැනීම සඳහා පැමිණෙන සිංහයෙක්ව.
දැන් ඔබ හිතන්නේ මුව දෙනට කුමක් වන්නට ඇති කියාද? සිංහයා විසින් ඇයව මරා දමන්නට ඇති. එසේත් නැති නම්, ඇය දඩයක්කාරයාගේ ඊ තලයට ගොදුරුවෙන්නට ඇති. ඒ දෙකම සිදු නොවී වනාන්තරයේ ගින්න ඉක්මන් වී ගින්නට හසුවී මවත් පැටියාත් මියයන්නට ඇති.
ඇත්තෙන්ම, මේ මොහොතේ ඔය කියූ එකක් වත් සිදුවුනේ නෑ. මුව දෙන ඒ අවස්ථාවේ අවධානය යොමුකළේ පැටවා බිහිකිරීම ගැන පමණක් නිසා ඇයට සාර්ථකව පැටවා බිහිකරගන්නට හැකි වුනා. ඒ අවස්ථාවේ වැස්සක් ඇද හැලී වනාන්තරයේ ගින්න නිවුනා. වැස්ස නිසා දඩයක්කරුවාගේ ඉලක්කය වැරදීගොස් ඊතලය මුවදෙනගේ අනෙක් පසින් සිටි සිංහයාගේ වැදී සිංහයා මිය ගියා. දඩයම වැරදුන දඩයක්කරු යන්න ගියා.
අපේ ජීවිතයේදිත් මේ වගේ අවස්ථාවලට අපට මුහුණදෙන්න සිදුවෙනවා. එවැනි අවස්ථාවලදී අප තුල ඇති සෘනාත්මක අදහස් වලින් අප විනාශ වී යා හැකියි.
මෙවැනි අවස්ථාවකට මුහුණ දීම ගැන අපට මේ කතාවේ සදහන් මුව දෙන පාඩමක් කියා දෙනවා. ඒ තමයි සෘනාත්මක සිතුවිලි පසෙක ලා, වඩාත්ම ප්‍රමුඛත්වය දිය යුතු දෙය එවැනි මොහොතකදී අප විසින් තෝරාගත යුතු බව. ඒ මොහොතේ මුව දෙන අවධානය යොමුකළේ පැටියා බිහිකිරීම ගැන පමණයි. අවට තිබූ උවදුරු ඇගේ පාලනයෙන් බැහැරවූ ඒවා. ඒවා අපට පාලනය කරන්න බෑ. අප යම් මොහොතකදී කරන්න ඕන අපට කල හැකි වඩාත්ම සුදුසු දෙයයි.
ඉහත කතාව ඉන්දියාවේ හිටපු ජනාධිපති, විද්‍යාඥ අබ්දුල් කලාම් විසින් තම දේශණයකදී ප්‍රකාශ කරන ලද්දක්. මේ කතාව තුල තිබෙන ධනාත්මක චින්තනය අපට ඉතාම වැදගත්. නමුත්, අපට පාලනය කළ නොහැකි සෘනාත්මක දේවල් හැමදෙයක්ම සම්පූර්ණයෙන්ම නොසලකා වැඩ කිරීමත් සුදුසු වෙන්නේ නෑ.
මේ කතාවටම සමාන මරණ තුනක් ගැන කතාවක් අපේ සිංහල සාහිත්‍යයේත් තිබෙනවා. ඒ නිසාම බිහිවූ කවියකුත් තිබෙනවා.
අලියෙක් එලවාගෙන ආ නිසා බියට පත් මිනිසෙක් ලිඳකට වැටෙද්දී එහි තිබු කර වැල් පොටක එල්ලුනා. පහත බැලූ විට ලිඳ පතුලේ පෙනය පුප්පාගෙන සිටින නයෙක්. ඔහුගේ එක් අතක විශ සහිත මැස්සන් ඉන්නා දඬුවැල් බෑයක්. මරණ තුනක් පෙනි පෙනී මේ මිනිසා අතෙහි තිබුන දඬුවැල් බෑයේ පැණි කෑවාලු. පහත කවිය ලියවී ඇත්තේ ඒ මිනිසා ගැන.
වනේ ගිජිඳා ය දුටුවොත් වනසා ය
ළිදේ පණිදා ය වැටුණොත් ඌ කා ය
අතකින් කරවැලකි අතකින් දඬු බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය
Related: සර්. ජේම්ස් ඕ කොනර්’ගේ අවතාරය
පැටියා බිහිකරන මුව දෙන මෙන් කළ යුතු වඩාත්ම වැදගත් දේ ගැන පමණක් සිතා අපට කටයුතු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම්, ලිඳට වැටුන මිනිසා මෙන් සියල්ල අමතක කර පැණි කා මේ මොහොත සතුටින් ගත කරන්න පුළුවන්.
නමුත් වඩාත්ම සුදුසු දෙය ලෙස පෙනී යන්නේ අවට ඇති අවදානම ගැනද දැනගෙන, අවධානයෙන් යුතුව ඉදිරියට යන එකයි. එහෙම නොවුනොත් අපි හිතන තරම් දුර යන්නවත්, අපි අනාගතයේ කරන්න හිතන දේවල් කරන්නවත් බැරිවෙයි.
“වඩාත්ම සුදුසු දෙය නම් ඇති අවදානම ගැනද දැනගෙන, අවධානයෙන් යුතුව ඉදිරියට යෑමයි.”
අන්තර්ජාලයෙන් උපටාගන්නා ලදි.