Anthony Morningstar

Web Designer

Web Developer

Graphic Designer

Freelancer

Blogger

Anthony Morningstar

Web Designer

Web Developer

Graphic Designer

Freelancer

Blogger

Blog Post

මරණයෙන් පසු මිනිසුන් ඇතුලු සියලු සත්වයන් උපදින ස්ථානයන්

මරණයෙන් පසු මිනිසුන් ඇතුලු සියලු සත්වයන් උපදින ස්ථානයන්

තම තාමන් කළා වූ කර්මවල සැටියට සත්වයන් උපදනා ස්ථාන කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය යයි තුනෙකි. අපාය භූමි සතර, මිනිස් ලොව, දෙව්ලෝ සය යයි කාම භූමි එකොළහකි.

එහි අපාය භූමි සතරය යනු නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත නිකාය, අසුර නිකාය යන මේවාය.

1. නරකය.

සඤ්ජීව නරකය, කාල සූත්‍ර නරකය, සංඝාත නරකය, රෞරව නරකය, තාප නරකය, ප්‍රතාප නරකය, අවීචි මහා නරකය යි මහා නරක අටකි. ඒවා සතරැස් ය. එක් මහා නරකයක එක් පසකින් සතර බැගින් ඔසුපත් නරක නම් වූ කුඩා නරකයෝ ද වෙති. එක් මහා නරකයක් හාත්පස ඇති කුඩා නරක සොළොසෙකි.

සඤ්ජීව නරකය

යමපලුන් විසින් එහි උපන් සත්වයන් ගිනියම් වූ පොළොවෙහි පෙරළා කඩ කඩ  කොට කපත්දීත් ඒ සත්වයන්  නැවත ජීවත් වන බැවින් ඒ නරකය සඤ්ජීවන නම් වේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් හා කෝලහාල කළෝ ද, දුබලයන් පෙළුෑ රජවරු හා නිලධාරීහු ද, දිළින්දන් පෙළුෑ පොහොසතුන් හා මැරයෝ ද, සතුන් මරන්නෝ ද සඤ්ජීවයෙහි උපදිති.

කාලසූත්‍ර නරකය.

උපන් සත්වයන් ගිනියම් වූ පොළොවේ පෙරළා දැලි නූල් ගසා සසින්නා වූ ස්ථානය කාලසූත්‍ර නරකය නම් වේ. මාපියන්ඨ හා මිතුරන්ට ද ගුණවත් මහණ බමුණන්ට දාපරාධ කළාහු එහි පැසෙති.

සඩ්ඝාත නරකය.

මේ නරකයෙහි සත්ත්වයෝ නවයොදුන් ඝන යහපොළවෙහි එරී නිශ්චලව සිටිති. එහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඬ නංවමින් එරී සිටින නිරිසතුන් අඹරමින් පර්වතයෝ ඔබ මොබ පෙරළෙති. ඒවාට යටවී සත්ත්වයෝ සුණු විසුණු වෙති. ඇත් අස් ගවාදී සතුන්ට වද දෙමින් වැඩ ගත්තෝ ද සතුන් මැරැවෝ ද එහි උපදිති.

රෞරව නරකය.

මේ නරකයෙහි සත්ත්වයන්ගේ සිරැරැ තුළට වැද ඇතුළත දවන්නා වූ නපුරු දුමක් ඇත්තේ ය. ඇතුළත පිටත දෙකම දවනු ලැබීමෙන් හඬන නිරි සතුන්ගේ හඬ නිරතුරු ව එහි ඇසෙන බැවින් එයට රෞරව නරකය යි කියනු ලැබේ.

මහා රෞරව නරකය.

අතිශයින් රෞර වූ ගින්නෙන් හා දුමින් තවනු ලබන සත්ත්වයන්ගේ නිරතුරු පවත්නා මහ හඬ ඇති නිසා ද, නිරිසතුන්ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසා ද ඒ නරකයට මහා රෞරව නරකය යයි කියනු ලැබේ. තුරුනුවන් අයත් වූ ද මාපියන් අයත් වූ ද වස්තුව පැහැර ගත්තෝ ද විනශ කළෝ ද එහි උපදිති.

තාප නරකය.

මේ නරකයෙහි යමපලුන් විසින් ගිනියම් වූ යපොළොවෙහි ගිනියම් වූ යහුල්වල අමුණා තබනු ලැබූ සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් වෙසෙති. සතින් පණ පිටින් දවා මැරැවෝ ද අනුන්ගේ ගෙවල් ගිනි තැබුවෝ ද එහි උපදිති.

ප්‍රතාව නරකය.

මෙහි ද තාප නරකයෙහි නිරිසතුන් පැසෙන අයුරින් දීර්ඝ කාලයක් සත්ත්වයෝ පැසෙති. මහා තාපන යනු ද මේ නරකයට කියන තව නමෙකි. මරණින් මතු ඉපදීමක් නැතැ යැයි මිථ්‍යාදුෂ්ටි ගෙන පව්කම් කළ අය එහි උපදිති.

මහා අවීචි නරකය.

මේ නරකයෙහි එක් බිත්තියක් නැගෙන ගින්න අනික් බිත්ති දක්වා ගමන් කරන්නේය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන් පත් දක්වා නඟින්නේ ය. උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා බස්නේය. සත්ත්වයෝ නිතර ම සදිසාවෙන් එන ඒ ගිනි දැල්වලින් වෙළී දැවෙන්නෝ ය. අතරක් නැතිව එහි සත්ත්වයෝ ද වෙසෙති. ගිනි දැල්වලින් හා දුක්වලින් ද සත්ත්වයන්ගෙන් ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචි නම් වේ.

පඤ්චානන්තය්‍යී කර්ම කළෝ ද බෝසතුන් නැසුවෝ ද ගුණවත් නැසුවෝ ද චෛත්‍ය බින්දෝ ද පිළිම බින්දෝ ද බෝරුක් නැසුවෝ ද භාර්යාවන්ට අපරාධ කළෝ ද බොරු කීවෝ ද සුරාපානය ක්ළෝ ද එහි උපදිති.

කුඩා නරකයෝ.

ගූථ නරකය, කුක්කූල නරකය, අසිපත්‍ර නරකය, සිම්බලීවන නරකය යි කුඩා නරක සතර වර්ගයක් ඇත්තේ ය. ගූථ නරකය යනු කැකෑරුණු අසුචියෙන් පිරුණු, එහි පතිත නිරිසතුන්ගේ ශරීර ඇට මිඳුලු දක්වා විදින හුනු ගස, පොල් ගස්, තල් ගස් පමණ මහත් වූ පණුවන් ගැවසී ගත් තැනෙකි. කුක්කූල නරකය යනු යටින් ගිනි අඟුරු ඇති අලුයෙන් පිරුණු තැනකි. අසිපත්‍ර වන නරකය යනු කඩු මෙන් කැපෙන කොළ ඇති ගස් හා දැලිපිහියා මෙන් කැපෙන කොළ ඇති තණ ද ඇති නරකයෙකි. සිම්බලීවන නරකය යනු දොළොස් අඟුල් කටුවලින් ගැවසුණු ඉඹුල් වනයක් ඇති තැනකි. තවත් නොයෙක් ආකාර නරකයන් ඇති බව ද දක්වා තිබේ.

ලෝකාන්තරික නරකය.

ලෝකාන්තරික නරකය යනු මහත් වූ ශීත නරකයෙකි. එය හැම කල්හි ම ගනාඳුරින් වැසී තිබේ. එහි පත්ලෙහි අතිශයින් ශීතල ජලය ඇත්තේ ය. නිරිසතුන් වවුලන් සේ පර්වතවල එල්ලී ඔබමොබ යති. ඔවුන් තවත් සත්ත්වයකු දුටු කල්හි ආහාරයකැ යි සිතා අල්ලා ගැනීමට තැත් කෙරෙති. එයින් දෙදෙනාම පර්වතයෙන් ගිලිහී දියට වැටෙති. එහිදී හුණු තෙල්හි ලූ පිටි බැදෙන්නාක් මෙන් ඔවුන්ගේ ශරීරයෝ පුපුරා ශීතලෙන් බැදෙති.

2. තිරිසන් අපාය.

මිනිස් ඇසට නො පෙනෙන තරම් ඉතා කුඩා සත්ත්වයාගේ පටන් යොදුන් ගණනක් ඇති සත්ත්වයන් දක්වා සිටින, පා නැත්තා වූ ද, දෙපා නැත්තා වූ ද, දෙපා ඇත්තා වූ ද, සිව් පා ඇත්තා වූ ද, බොහෝ පා ඇත්තා වූ ද නොයෙක් ආකාර ඇත්තා වූ ද තිරිසන් සත්ත්ව සමූහ‍ය ම තිරිසන් අපාය ය. නරකය මෙන් ඔවුන්ට වෙන් වූ තැනැක් නැත. ඔවුහු උපනූපන් ඒ ඒ තැන්වල ම ඔවුනොවුන් කා ගනිමින් කිසි පිළිසරණක් නැති ව නිරතුරු බියෙන් ත්‍රස්ත ව ජීවත් වෙති.

3. ප්‍රේත අපාය.

මිනිසුන්ගේ ප්‍රකෘති ඇසින් නො දැකිය හැකි ධාතු වර්ගයකින් නිර්මිත වූ නොයෙක් ප්‍රමාණ ඇත්තා වූ ද නොයෙක් සටහන් ඇත්තා වූ ද නොයෙක් ආකාර දුක් ඇත්තා වූ ද සත්ත්ව කොට්ඨාසයකට ප්‍රේතාපාය යයි කියනු ලැබේ. ඔවුනටද භූමියක් වශයෙන් නියම තැනක් නැත. ප්‍රේතයෝ බොහෝ සෙයින් අතිශයින් කෘශ වූ ඇට නහර මතු වී ඇති බඩේ සම පිට කටුවේ ඇලී ඇත්තා වූ දුටුවන්ට අප්‍රය වූ ශරීර ඇත්තෝ ය. සාගින්න නිවෙන පමණට ආහාර ද පිපාසාව සන්සිඳෙන පමණට පැන් ද ඔවුන්ට නොලබති. එහෙත් අකුශල බලයෙන් ඔවුහු බොහෝ කල් ජීවත් වෙති. ඔවුන් ගෙන් ඇතැමෙක් කවදාවත් ආහාර පාන නො ලබති. ඇතැම්හු මිනිසුන්ගේ සෙම් සොටු ආහාර කොට ගනිති. ඇතැම්හු මිනිසුන්ගේ හා තිරිසනුන්ගේ අසූචි ආහාර කොට ඇත්තෝ ය. ඇතැම්හු මළකුණු ආහාර කොට ඇත්තෝ ය. ඇතැම්හු මිනිසුන් ඉවත ලන බත්හුලු ආදිය කොට ඇත්තෝ ය. ඇතැම්හු තමන්ගේම ශරීරය ම සූරා කන්නෝ ය. ඇතැම්හු ඔවුනොවුන්ගේ වන පිලිකාවලින් ගලන් ලේ සැරව අහාර වශයෙන් ගන්නෝ ය. මෙසේ ප්‍රේතයෝ නින්දිත ආහාර ඇත්තෝ ය. ඔවුන්ගෙන් ඇතැමෙක් සැප දුක මාරුවෙන් මාරුවට ලබන්නො ය.

4. අසුරපාය.

අසුර යන නාමයෙන් දේව ගණයට අයත් කොටසක් ද ඇත්තේ ය. බෞද්ධ පොත්වල චේපචිත්ති අසුර, පහරාද අසුර යනාදී නම් වලින් දැක්වෙන්නෝ දෙව ගණයට අයත් අසුරයෝ ය. ඔවුන් දෙවියන් මෙන් ම සැප ඇත්තෝ ය.අසුර යන නාමය ව්‍යවහාර කරන ප්‍රේතයන් වැනි දුක්ඛිත සත්ත්ව කොට්ඨාසයක් ද ඇත්තේ ය. අසුරපාය යනු ඒ සත්ත්ව සමූහයම ය. ඔවුන් ද පේතයන් මෙන් ම නොයෙක් ආකාර ශරීර ඇත්තෝ ය.

රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් ලියන ලද  “බෞද්ධයාගේ අත්පොත” නම් පොත ඇසුරෙන්.

Taggs:
Write a comment